සංඛ්‍යාලේඛණ ඇත්තද? අධි තක්සේරුව සුභදායකද?

telephone x 1

සංඛ්‍යාලේඛණ ඇත්තද? අධි තක්සේරුව සුභදායකද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

පසුගියදා අපේ සෞඛ්‍ය ඇමතිතුමිය පැවසුවේ කොවිඩ්-19 රෝගීන් කිසිවෙකු එදින (25) වාර්තා වී නොමැති බවය. (මාර්තු 27 දා ද කිසිදු රෝගියෙකු වාර්තාවි නැත) ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණය මේ ආරංචිය පතුරුවාලූයේ ශ්‍රී ලංකාව කොවිඩ්-19 මර්දනයෙන් ලෝකයටම ආදර්ශයක් දී ඇති ලෙසටය. පාර්ලිමේන්තුව, පළාත් සභාව හා ආණ්ඩුවේ සේවකයින් කිසිවෙකු නැතිව ජනාධිපතිතුමා සහ හමුදාව දිගටම ජයග්‍රාහී ලෙස කොවිඩ්-19 ට එරෙහිව මෙහෙයුම ගෙන යා යුතුව ඇතැයි සමාජ මාධ්‍ය ජාලා ප්‍රකාශ කරයි. කොවිඩ්-19 ට එරෙහිව හමුදාව හා පොලීසිය සිදුකළ කාර්යය අගය කළ යුතුය. නමුත් ශ්‍රේෂ්ඨතම කාර්යය ඉටු කරන්නේ ආණ්ඩුවේ සේවකයින් පිරිසක් වන සෞඛ්‍යය කාර්ය මණ්ඩලය විසින් බව අප කවුරුත් දන්නා සත්‍යයකි. කොවිඩ්-19 යනු ත්‍රස්ත ප්‍රහාරයක් හෝ දේශපාලකයින් මනාප සඳහා සහනාධාර බෙදන, ගංවතුර, නියඟ හෝ වෙනත් එවන් සොභාවික උවදුරක් නොවන බවද අප මතක තබා ගත යුතුය. එමෙන්ම, අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා කියන ලෙස අප්‍රියෙල් 03 දා දක්වා හෝ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවා ඇති පරිදි ලෙස අප්‍රියෙල් 10 දක්වා හෝ රටේ, විශේෂයෙන් බස්නාහිර පළාතේ සමාජ ක්‍රියාකාරකම් ඇඳිරි නීතිය යටතේ පාලනයෙන් පමණක් ප්‍රශ්ණය විසඳේ යැයි කීමටද නොහැකිය.

අද (27) වනවිට එක්සත් ජනපදය රෝගීන් 532,000 ක් PCR පරීක්ෂාවට ලක්කර එයින් රෝගීීන් 84,000 ක් ආසාදිත බැව් සොයාගෙන ඇත. එනම්, සෑම පුරවැසියන් දශ ලක්ෂයකටම අඩු තරමින් 1500 ක් පරීක්ෂා කිරීමෙන් ඉහත තොරතුරු ලබාගෙන ඇත. (දකුණු කොරියාව සෑම පුරවැසියන් දශ ලක්ෂයකින්ම පුරවැසියන් 5300 ක් පරීක්ෂාවට ලක් කර ඇත.) ශ්‍රී ලංකාව සෑම පුරවැසියන් දශ ලක්ෂයකින් තවමත් පරීක්ෂා කර ඇත්තේ 100 කට ආසන්න ගණනකි. තත්වය එසේ තබාගෙන රෝගීන් හමුවී නැතැයි කියමින් ආඩම්බර කතා කීම අනුවන කමකි.

චීනයේ දත්ත අනුව, කොවිඩ්-19 රෝගීන්ගෙන් 81% කට රෝග ලක්ෂණ ඇත්තේ මද වශයෙනි. සාමාන්‍ය උණ, හෙම්බිරිස්සාවෙන් එය සාමාන්‍ය වෛද්‍යවරයෙකුට වෙන්කර හඳුනාගත නොහැක. තවත් 14% කට තරමක් තද රෝග ලක්ෂණ ඇත. ඔවුන් හඳුනා ගැනීම ඇතැම්විට සිදුවිය හැක. රෝග ලක්ෂණ තදටම ඇත්තේ 4% කට පමණය. එයින්ද වෛද්‍යවරයෙකු වෙත යොමු වන්නේ තවත් අඩු ප්‍රතිශතයකි. එයින්ද PCR පරීක්ෂණයට යන්නේ තවත් සුළු පිරිසකි. ආණ්ඩුව මේ සංඛ්‍යාලේඛණ නිවැරදිව හඳුනාගෙන ඇත්නම් ඒවා ජනගත කිරීම අත්‍යාවශ්‍ය වේ. එසේ නොමැතිව, රෝගීන් හමුවී නැතැයි ආඩම්බර කතා කිම සුදුසු තත්වයක් නොවේ.

මේ සංඛ්‍යාලේඛණ නොමග යැවීම වෛද්‍ය පහසුකම් නැති බොහෝ රටවල සිදුවේ. ඉන්දියාව කොවිඩ්-19 රෝගීන් 500 ක් හමුවීමෙන් පසු දශලක්ෂ 1,300 ක් ජීවත්වන රට වසා දැමුවේ තමන්ගේ රටේ සෞඛ්‍ය පහසුකම් හා සැඟවුණු රෝගීන් ගැන හොඳ තක්සේරුවකින් පසුවය.

යම් පමණකට හෝ සංඛ්‍යාලේඛණ ලබාදීම ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ස්තුති කළ යුතුය.

ශ්‍රී ලංකාව දූපත් රටකි. එහෙයින් එය කලින්ම විදේශිකයින් පැමිණීම පෙබරවාරි මස (මන්ද, චීනය හුබෙයි ප්‍රාන්තය වැසුවේ ජනවාරි 24 දාය) සීමා කළා නම්, අද මෙවැනි දුක්ඛිත ඉරණමක් දශ ලක්ෂ 22 කට අත්වන්නේ නැත. පෙබරවාරි සිට මාර්තු දක්වා සිදුවූයේ ශ්‍රී ලංකාව කොවිඩ්-19 ජයගෙන ඇති හෙයින් හැකි තරම් විදේශිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ ප්‍රචාරක ව්‍යාපාරයකි. අනෙක් පසින් සිදුවූයේ කෙසේ හෝ අප්‍රේල් 25 ඡන්දය පැවැත්වීමේ අභිලාෂය හා මාර්තු 19 දා නාම යෝජනා අවසන් කිරීමේ තදියමයි.

කෙසේ වෙතත් අන් රටවල් අනුව යමින් ප්‍රමාද වී හෝ රට වසා දැමීම කොවිඩ්-19 ව්‍යාප්තිය වැලැක්වීමට ගත් හොඳ මගකි. කෙසේ වෙතත්, තැට්වරද ක්‍රමය (Trial & Error) මගින් නම් කොවිඩ්-19 මර්දනය කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැක. උදාහරණයක් ලෙස සමාජ සබඳතා නැවැත්වීමට ඇඳිරි නීතිය පනවා, පසුව එය කෙටි කාලීනව ඉවත් කර ආහාර අවශ්‍යතා වෙනුවෙන් සමාජ කල්ලි ගැසීමට නැවත ඉඩ සැලසීම වැනි සිදුවීම්, කලින් සැලසුම් නොකර සිදුකළ යුතු ඉහළම ගනයේ සමාජ වසාදැමීම (ඇඳිරි නීතිය) ක්‍රියාත්මක කරලීමේ තැට්වරද ක්‍රමයයි.

අප මතක තබාගත යුත්තේ ශ්‍රී ලංකාවේ දත්ත වලට අනුව පවතින රැකියා නියුක්ති ප්‍රමාණය ලක්ෂ 81 ක් බවය (2018). එයින් 58% ක් නොහොත් ලක්ෂ 47 ක් නිශ්චිත නොවූ හෝ අස්ථිර රැකියාධාරීන්ය. එනම්, එදාවේල සොයා ගන්නා ශ්‍රමිකයන් හෝ ස්වයං රැකියාලාභීන්ය. දැන් මේ අයගේ ඉරණම කුමක්ද? ඔවුන් පත්ව ඇති අසීරු, දුක්ඛිත ඉරණම කවරාකාරද? එමෙන්ම, මතක තබාගත යුත්තේ අන්තර්ජාතික තත්වය අඩු තරමින් මාස කිහිපයක් පැවතිය හැකි නිසා විදේශවලින් සැපයුම් හෝ විදේශවලට සැපයුම් (ආනයන – අපනයන) කළ නොහැකි වන බවය. එහෙයින්, අනිවාරයෙන්ම කලින් පැවසූ ලක්ෂ 47 ගැන කෙටි කාලීනව බලාගන්නා අතර, මුළු රටටම මධ්‍ය කාලීන (මාස 06 ක් පමණ) ආර්ථික වැඩ පිළිවෙලක් අවශ්‍යය. මෙය බැසිල් රාජපක්ෂට තනිව කළ හැකි දැයි නොදනිමි. තෙල් මිල අඩුවීම, විදේශ ණය ගෙවීමට සහන කාලයක් ලැබීම, විදේශ වෙළඳපොළවල පොලී අනුපාත අඩුවීම ආදී ධනාත්මක දේට වඩා ආර්ථිකයක් සහමුලින් අඩපණ වීමේ සෘණාත්මක ක්‍රියාවලිය කොවිඩ්-19 වසංගතයේදී ප්‍රබලය.

රාජපක්ෂවරු සාමූහිකව ප්‍රශ්න විසඳීමට උත්සාහ ගන්නා බවක්ද නොපෙනේ. 2007-2010 යුද්ධය හා ලෝක ආර්ථික අර්බුදය හමුවේ රට ගෙනගිය ආකාරයට මෙවරත් අර්බුදය ජයගත හැකිවනු ඇතැයි ඔවුන් සිතනවා විය හැකිය. සංඛ්‍යාලේඛණ වලින් මෙන්ම, අධි තක්සේරුවලින්ද අපි පරෙස්සම් විය යුතු වන්නේ ඒ නිසාය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *