
IMF දෙවැනි වාරිකය කල් යයි.
පාඨලී කී කතාව හරියටම හරි යයි. IMF දෙවැනි වාරිකය කල් යයි. සැප්තැම්බර් 27 වෙනිදා තීරණාත්මක බවත් එදින, ශ්‍රී ලංකාවේ ණය හිමියන් සමග එකඟතාවකට පැමිණීමට නොහැකි වුවහොත්, රට විශාල අර්බුදයකට මුහුණ දීමට සිදුවන බවත්, ණයහිමියන් සමග එකඟතාවක් ඇති කර ගැනීමට නොහැකි වුවහොත් ණය වාරිකය ගෙවීමට සිදුවන බවත් පාඨලී චම්පික රණවක මහතා කිහිපවරක් අවධාරණය කොට ප්‍රකාශ කළේය. එම ප්‍රකාශය සනාථ කරමින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 2 වෙනි ණය වාරිකය ගෙවීම කල් දමා තිබේ. ඊට හේතුව ණය හිමියන් සමග එකඟතාවක් ඇති කර ගැනීමට නොහැකි වීම ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් නියෝජිත කණ්ඩායමේ ප්‍රධානියා වන පීටර් බ්රූවර් මහතා පැවසුවේ මෙරට ආර්ථිකයේ යම් යම් සුබදායි ලක්ෂණ පෙන්වුද තවත් අංශ වල වෙනස් කම් සිදුවිය යුතු බවයි. විශේෂයෙන්ම බදු එකතු කිරීමේ ක්‍රමවේදයේ ඇති ගැටලු සම්බන්ධයෙන් එම නියෝජිතයින් විවිධ කාරණා පෙන්වා දී තිබුණි.. "නුදුරේදීම මාණ්ඩලික මට්ටමේ එකඟතාවයකට පිවිසීම සඳහා පළමු සමාලෝචනය යටතේ කණ්ඩායම තවදුරටත් සාකච්ඡා පවත්වනවා. ඒ සමගම අපි කැමතියි කියන්න මේ දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාවට උදව් කරන්න. පළමු සමාලෝචනයේ මාණ්ඩලික මට්ටමේ එකඟතාවයට පිවිසීමට අපිට තව කාලය ටිකක් අවශ්‍යයි..." ඒ අනුව ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් එකඟ වී ඇති ඩොලර් බිලියන 2.9ක ණය මුදලේ දෙවැනි කොටස නිදහස් කිරීම පමා වනු ඇත. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බ්රූවර් මහතා පැවසුවේ ඒ සඳහා නියමිත කාල පරාසයක් නොමැති බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවෙන් බලාපොරොත්තු වූ ආකාරයේ ප්‍රගතියක් සිදු නොවීම මීට හේතු වී තිබේ. ගිවිසුමේ සඳහන් කොන්දේසි ඉටු කිරීම පසෙක තබා වෙනත් කටයුතුවල යෙදෙන ආණ්ඩුව වඩාත් අවධානයෙන් මේ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු බව පාඨලී චම්පික රණවක මහතා මින් පෙර කීප වතාවකදී ම අනතුරු ඇඟවූ අතර, රජය සුපුරුදු ක්‍රියාවලියේ ම යෙදෙමින් මෙසේ රට අනතුරට පත් කොට තිබේ. පාලකයන් වහාම සිදු කළ යුත්තේ, උද්ධච්ඡ භාවයෙන් රට තවත් අර්බුදයට ඇද නොදමා සියළු පාර්ශව එක් කොට ගෙන විසඳුමක් කරා රට ගෙන යාම ට උත්සාහ ගැනීම ය. මේ පිලිබඳ පාඨලී චම්පික රණවක මහතා කළ ප්‍රකාශය පහතින්..

බිලියන 904ක් ආදායම් බදු නොගෙවූ අයගේ නම් ලැයිස්තුව කෝ?
BBC පුවත් වාර්තාව
බිලියන 904ක් ආදායම් බදු නොගෙවූ අයගේ නම් ලැයිස්තුව කෝ?



ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 124 යටතේ, විශේෂ කාර්යයන් සඳහා වන කාරක සභාවක් ලෙස පිහිටුවන ලද ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 17 දෙනෙකුගෙන් සමන්විත වේ. ඔවුන්ට ඕනෑම වාර්තාවක් කැඳවීමටත්, ඕනෑම ආයතනයකට ගොස් නිරීක්ෂණය කිරීමටත් බලය පවරා තිබේ. ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවට පැවරී ඇති වගකීම වන්නේ රජයේ ආදායම වැඩි කිරීමට අදාළ කටයුතු විමර්ශනය කර ඊට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම, රජයේ සමාජ සුබ සාධන කටයුතු සහ හදිසි ආපදා සහන කටයුතු නිසි පරිදි ක්‍රියාත්මක වන්නේදැයි සොයා බලා අවශ්‍ය නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමයි. ඒ යටතේ ඔවුන් සිය පළමු වාර්තාව මගින් පහත සඳහන් කරුණු පෙන්වා දී තිබේ.'45%ක් බදු දැලට අහුවෙන්නේ නැහැ. ෆේස් බුක්, යූ ටියුබ් වලිනුත් බදු ගන්න ඕනා.'

මත්පැන් බෝතලයට QR එකක්.
ශ්‍රී ලංකාවේ ලියාපදිංචි මත්පැන් නිෂ්පාදන කර්මාන්තශාලා 23ක් ඇති අතර සුරා බදු ආදායමෙන් 73% ක් ලැබෙන්නේ ප්‍රධාන සමාගම් දෙකක් මගිනි. බදු වංචා අවම කර ගැනීම සඳහා මත්පැන් බෝතල්වල ආරක්ෂිත බදු මුද්‍රා සහිත ස්ටිකරය ඇලවිය යුතුය. එහෙත් මෙම ස්ටිකරය අලවනු ලබන්නේ මත්පැන් නිෂ්පාදන ආයතන 21ක් පමණි. ප්‍රධාන සමාගම් දෙක 'එම්බ්ලම්' ලෙස හඳුන්වන වෙනම ක්‍රමයක් භාවිත කරන අතර එය හඳුනාගත හැක්කේ 'UV ලයිට් එකක' ආධාරයෙනි. එබැවින් බදු වංචා අවම කර ගැනීම සඳහා සියලු සමාගම් එක පොදු ක්‍රමයක් අනුගමනය කළ යුතු බවට ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව නියෝග කර තිබේ. එම ලාංඡනය සහිත මත්පැන් බෝතලයක් නිකුත් කළ සැනින් අදාළ බදු මුදල මහා භාණ්ඩාගාරයට යොමු කරන ක්‍රමයක් හඳුන්වා දීමටත්, පාරිභෝගිකයාට සිය ජංගම දුරකථනය හරහා අදාළ මත්පැන් බෝතලයේ QR කේතය පරික්ෂා කර නිසි පරිදි බදු ගෙවන ලද, ප්‍රමිතියට නිෂ්පාදිත මත්පැන් බෝතලයක් දැයි හඳුනා ගැනීමට හැකි ක්‍රමයක් සකස් කිරීමටත් උපදෙස් ලබා දී ඇත. ඊට හේතුව ස්ටිකර් ක්‍රමවේදය 2018 හඳුන්වා දී තිබුණ ද ව්‍යාජ ස්ටිකර් සහිත මත්පැන් බෝතල් වැටලීමට මේ වසරේ දී පළමු වරට සුරාබදු දෙපාර්තමේන්තුව ක්‍රියා කර තිබුණේ ඒ පිළිබඳව ක්‍රියා කරන්නැයි මෙම කාරක සභාවේ උපදෙස් වලින් අනතුරුව වීම නිසා ය. අදාළ වැටලීමේ දී ස්ටිකර් අලවා නොමැති මත්පැන් බෝතල් 44,000කට වැඩි ප්‍රමාණයක් හමු වූ අතර එක් සමාගමකින් රුපියල් කෝටි හතරකට ආසන්න දඩ මුදලක් අය කරගත් බව සුරාබදු දෙපාර්තමේන්තුව සැප්තැම්බර් 7 වැනිදා ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවට දැනුම් දෙන ලදී.බදු පැහැර හරින අය හඳුනා ගන්න එකම අංකයක්.
ඒකාබද්ධ අදායම් කළමනාකරණය සඳහා ක්‍රමවේදයක් පාර්ලිමේන්තුවේ කෝපා කමිටුව 2016 දී නිර්දේශ කරන ලදී. එහෙත් එය තමවත් ක්‍රියාත්මක වන්නේ නැත.
''දැන් RMV එකේ, අදායම් බදු දෙපාර්තමේන්තුවේ , සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව අතර සම්භන්ධයක් නැහැ. එකම පුද්ගලයාට විවිධ ආයතනවල විවිධ හඳුනා ගැනීමේ අංක තියෙන්නේ. ඒ නිසා අවහිරතා මග හැර ගන්න වගේම බදු අහිමි වීම අවම කර ගන්න අපි රාජ්‍ය ආයතන 13ක ඒකාබද්ධ කළමනාකරණ සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කළා'' යනුවෙන් පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාඨලී චම්පික රණවක විස්තර කළේය.
අදාළ කමිටුව එක් එක් ආයතන සම්බන්ධ නිර්දේශ වෙනම දක්වා ඇත. එම කමිටුවේ විෂය පථයට වැටෙන අපදා කළමනාකරණයට අදාළ ක්‍රියාවලිය සොයා බැලීමේ දී අනාවරණය වී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය සඳහා වූ ජාතික සභාව අවුරුදු දහයකින් රැස් වී නොමැති බවය.

Channal 4 වීඩියෝ පටය හා පාස්කු ප්‍රහාරය සම්බන්ධව පවත්වනු ලබන මාධ්‍ය හමුව.

අනගාරික ධර්මපාල ලිබරල්වාදී ද?
අනගාරික ධර්මපාලතුමාගේ හා ජේ ආර් ජයවර්ධන මහතාගේ ජන්ම දිනයන් සැප්තැම්බර් 17 ට යෙදී ඇත. ධර්මපාල තුමා උන්වහන්සේගේ අපවත් වීමෙන් පසු බෞද්ධ චින්තකයන් හඳුනාගත්තේ නුතන බෞද්ධ පුනරුදයේ පියා ලෙසය. මිගෙට්ටුවත්තේ ගුණානන්ද, හික්කඩුවේ ශ්‍රී සුමංගල ආදි නාහිමිවරුන් සමඟද, වලිසිංහ හරිස්චන්ද්‍රතුමා සමඟද, 19 වැනි සියවසේ අග භාගයේ ඇති වූ බෞද්ධ පුනරුදය එකට ගැට ගැසී ඇත. ආනන්ද ගුරුගේ මෙන්ම පසුව ආචාර්ය සරත් අමුණුගම ද ධර්මපාල චරිත කතාව විස්තරාත්මකව ලියා ඇත. හාවර්ඩ් හිඟින්ස් හා කිංස්ලි ද සිල්වා විසින් විස්තරාත්මකව ජේ ආර් ජයවර්ධන චරිතාපදානය ලියා ඇත. මේ කෘතීන් කියවීමෙන් පමණක් විසිවෙනි සියවසේ ලාංකීය දේශපාලනයේ සැලකියයුතු කලාපයක් විධිමත්ව හඳුනාගත හැකිය. 1960 ගණන්වල මාර්ටින් වික්රමසිංහද, 1980 ගණන්වල ගුණදාස අමරසේකර ද බෞද්ධ ආර්ථික හා සමාජ ක්රමයන්, මාක්ස්වාදී සමාජවාදයට ඇති සමාන්තර බව පෙන්වීමට කෘතීන් ගණනාවකින් උත්සාහ කර ඇත. නමුත් බලගතු ලිබරල්වාදී ශාස්ත්‍රීය අධ්‍යයනයක්, ධර්මපාලතුමාගේ බෞද්ධ පුනර්ජීවන ක්‍රියාවලිය හා ජේ. ආර්. ජයවර්ධන මහතාගේ විවෘත ආර්ථික ක්‍රියාවලිය පිළිබඳව මෙතෙක් මා විසින් කියවා නැත. බටහිර ලිබරල් වාදී මුල් පදනම වූයේ, සමාජමය ලෙස මානවයා සමානය. ඔහුට සියල්ල දත හැකිය. පුද්ගල නිදහස සියලු නිදහසේ පදනමය යන තර්කයක් මත ය. ලිබරල් වාදය විසින් වැඩවසම් සමාජ බෙදීම් (උස් - පහත්), රාජකීයත්වය ආදිය අභියෝග කළ අතර පුද්ගල කුසලතාවාදය පදනම් කර ගත්තේ ය. ජනතාවගේ ස්වෛරීත්වය, ඡන්ද අයිතිය හා ප්රජාතන්ත්රවාදී මූලධර්මයන් හා මානව අයිතීනුත්, පසුව එහි ජනප්‍රිය මූලිකාංග විය. දෙවැනි කාලීන ලිබරල් වාදීන් විසින්, පුද්ගලික දේපල ක්‍රමය පිළිගැනීම විසින් සමාජවාදීන්ගේ විවේචනය ද, නූතන ධනවාදීන්ගේ පිළිගැනීමට ද ලක්විය. නිදහස් වෙළඳපොළ ක්‍රමය එහි ආර්ථික පදනම විය. දෙවනුව රාජ්‍ය හැකිතාක් දුරට හැකිලිය යුතුය යන ලිබරල් වාදීන් දැරූ අදහස විසින් සමාජ ස්ථාවරත්වයට බාධා පැමිණෙන බව ප්‍රකාශ කළ සම්ප්රදාය වාදීන්ගේ ද, ජාතික රාජ්‍යක අවශ්‍යතාවය පිළිගත් ජාතිකවාදීන්ගේ ද විවේචනයට ලක් විය. කෙසේ වෙතත් ලිබරල් වාදය මේ විවේචන හා දේශපාලන බලවේග අතර පරිණාමය වෙමින් ක්‍රමයෙන් සිය චින්තනය තුළට සමාජ සාධාරණත්වය, වෙළෙඳපොළ ඒකාධිකාරය ප්‍රතික්ෂේප කිරීම, සමාජ වෙළඳපොල ක්රමයන් පිළිගැනීම හා ජාතික රාජ්‍යයන්ගේ පැවැත්ම පිළිගැනීම ආදී ලෙස පරිණාමනය විය. නමුත් මේ පිළිබඳ වූ ලාංකේය සංවාදයක් ඇති වී නැත්තේ, ලිබරල් වාදය යනු කන, බොන, නිදන තෙරුවන අදහන, බටහිර අධිරාජ්‍යවාදයේ දර්ශනයක් ලෙස බරපතළ ලෙස හංවඩු ගැසී ඇති නිසාය. සමාජමය ලෙස බෙදී තිබූ බමුණු සමාජයට මිනිසුන් සමානය යන විප්ලවකාරී අදහස බුදු දහමින් ලැබුණු අතර තම විමුක්තිය තමාටම සොයා ගත හැකිය යන චින්තනයත් සමග නිදහස් විවෘත සමාජයකට මාවත විවර කරනු ලැබීය. ධර්මපාලතුමාට කටයුතු කිරීමට සිදු වූයේ, බ්‍රිතාන්‍ය කිරීටය විසින් සිංහල බස ද, බෞද්ධ දර්ශනය හා සාසනය ද, පාගා තිබූ පසුබිමකය. එහෙයින්ම එතුමාගේ බස ද, ක්රියාකාරීත්වයද බොහෝ සෙයින් රළු වූ අතර අධිරාජ්‍යවාදීන් පමණක් නොව දේශීය ප්‍රභූ පන්තිය ද බිය ගන්වනු ලැබීය. ජපානය මෙන්, බටහිර කර්මාන්ත හා දැනුම ආර්ථිකයේ පදනම කරගත යුතු බවට වූ ධර්මපාල මතයද මුල් යුගයේ සේනානායක වැනි “ගොවිකම” මුල්කරගත් නායකයින්ට වැටහුනේ නැත. වාමාංශිකයන්ගේ ආදර්ශය වූයේ සෝවියට් සමාජවාදයයි. ජේ ආර් ජයවර්ධන මහතා මුල පටන්ම කාර්මිකකරණයේ අදහස මත සිට ගත්තේය. රාජ්‍ය මුල්කරගත් කර්මාන්ත ගැන ද මුලදී අදහස් පළ කළේ ය. පසුව ආර්ථිකය නිදහස් කළේය. නමුත් දේශපාලනමය ලෙස අධිකාරිවාදී වූ අතර, ලූම්පන් පන්තියක ආර්ථික හා දේශපාලනික නැගීමට, චේතනාන්විතව ඉඩ දුන්නේය. ඒ නිසාම නූතන ධර්මපාල වාදීන්ට ජේ ආර් ගේ ධර්මිෂ්ඨ සමාජය පිළිකුලක් විය. 20 වැනි සියවසේ ලාංකීය දේශපාලනයේ දමිල හා මුස්ලිම් ප්රජාවන්ගේ දේශපාලනය බල වාදය අත්හළ විට, ධර්මපාල තුමා, ජේ ආර් ජයවර්ධන හා බණ්ඩාරනායක යන චරිත අර්ධ ලිබරල් වාදීන් ලෙස දාර්ශනිකව ඇතමෙකුට පෙන්නා දිය හැක. වත්මන් ආර්ථික බංකොලොත්භාවය ජය ගැනීමට ලිබරල් වාදී උපක්රමවලට හැකිද යන්න ඉදිරි මාස කීපය තුළ තීරණය වනු ඇත. රනිල් වික්‍රමසිංහ මහතාගේ ලිබරල් උපක්‍රම සාර්ථක නොවුන හොත්, සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ ගැන දැන්ම සංවාදයක් ඇති කරගත යුතුය. නොඑසේනම් මනෝරාජික ජනකාන්තවාදීන්ට රට ගොදුරු වී කබලෙන් ලිපට වැටීමට රටට සිදු වනු ඇත. -පාඨලී චම්පික රණවක-

වසර 70 ක කොමියුනිස්ට් පාලනය..
ලෙනින්ගේ මරණයෙන් පසු බලයට පත් වූ ජෝශප් ස්ටැලින් මේ මහා සම්පත් සහිත රට මධ්‍යගත මහා බලයක් වූ රාජ්‍යයක් කළේය. එමෙන්ම බලසම්පන්න යුද හමුදාවක් තැනුයේය. යෝධ තාක්ෂණික ඉදිරි පිම්මක් පැන්නේය. එක්සත් ජනපදයට තරගයක් දිය හැකි සම්පත් සහිත රටක් බවට සෝවියට් සංගමය පත් විය. න්‍යෂ්ටික අවි, නාවික, ගුවන් බලය, අභ්‍යාවකාශ බලය ආදී සෑම පියවරක්ම සමග සෝවියට් සංගමය පෙරට යන්නට විය. ලොව පුරා ලොකු කුඩා රාජ්‍ය ගණනාවක්, සෝවියට් සංගමය අනුව යමින් කොමියුනිස්ට් මාර්ගයෙන් ගමන් කිරීමට පටන් ගත්තෝය. 70 දශකය, සෝවියට් සංගමයේ දශකය විය. 1973-74 තෙල් අර්බුදය සමග ඛනිජ තෙල් මිල අහසට නැග්ගේය. මෙයින් විපුල ඵල ලැබුණේ සෝවියට් සංගමයටය. බටහිර ලෝකය අවුල් ජාලයක් විය. ලෝකය පුරා කොමියුනිස්ට් විප්ලවවලට සෝවියට් උපකාර ලැබෙන්නට විය. වියට්නාමය, ලාඕසය හා කාම්පුචියාව, ඇමරිකා එක්සත් ජනපදය පරදවා කොමියුනිස්ට් සංගමයේ උච්ඡ අවස්ථාව සනිටුහන් කළේය. 1979-80 අතර ඉරාන අර්බුදය සමග යළිත් තෙල් මිල ඉහළට ගියේය. සෝවියට් සංගමය නැවතත් බලවත් විය. සෝවියට් සංගමයේ ආදායම්වලින් 67% ක් එනම් තුනෙන් දෙකක් ලැබුනේ තෙල් හා ගෑස් වලිනි. යුරි ඇන්ද්රපොව්ගෙන් පසු සෝවියට් සංගමයේ බලධාරියා ලෙස මිහායිල් ගොර්බචොව් පත්විය. මුල පටන්ම ගැටළු ගණනාවකට මුහුණ දීමට ඔහුට සිදුවිය. පළමුව 1985 දී තෙල් මිල පහළ යාම නිසා ඇති වූ අවුල් සහගත තත්ත්වයට මුහුණ දීමට සිදුවිය. එය 1986 චර්නොබිල් අනතුර සමග බලශක්ති අර්බුදයක් විය. ඊළඟට එය ආර්ථික අර්බුදයක් විය. ඒ සමගම සෝවියට් පන්නයේ ආර්ථිකයක ඇති වන අකාර්යක්ෂමතාවය පිළිබඳ කණගාටුදායක තත්ත්වය ලොවට පෙනෙන්නට විය. සෝවියට් සංගමය විසුරුවා හරිමින් එහි ජනාධිපති මිහායිල් ගොර්බචොව් මෙසේ ප්‍රකාශ කළේය. "බලයෙන්, සැලසුම් සහගත බවින්, හමුදාමය විනයෙන් සමන්විත න්‍යෂ්ටික අවි, ග්‍රහලෝක තරණය කරන අභ්‍යාවකාශ අංගන හා රොකට්ටු සතු අපි වැනි දියුණු ජාතියක් දැනට ලොව තුළ නොමැත. නමුත් අපේ රට තුළ කාන්තාවන්ගේ යට ඇඳුම් පට (Panty hose) හිඟයක් පවතී. සබන් හිඟයක් පවතී. දත් බෙහෙත් හිඟයක් පවතී. ස්පුට්නික් අභ්‍යාවකාශයට යැවූ අපිට සබන්, දත් බෙහෙත් හා කාන්තා යට ඇඳුම් සැපයීමට නොහැකි වීම කවර ඛේදවාචකයක් ද?" සොවියට් සංගමයේ ජනාදිපති ලෙස මා කල කාර්යය අදසිට අවසන් වන අතර,සොවියට් සංගමයද විසුරුවාහරිනු ලැබේ සෝවියට් ඛේදවාචකය අවසන් වීමට වැඩි කලක් ගියේ නැත.. චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය පුපුරා යෑමත් සමග 1986 දී ආරක්ෂාව පතා සෝවියට් දේශයේ න්‍යෂ්ටික බලාගාර වසා දමන ලද්දේය. තෙල්, ගෑස් මිල වැටීමත්, න්‍යෂ්ටික බලය අහිමි වීමත් සමග සෝවියට් ආර්ථිකය බිඳ වැටීම ඇරඹිනි. ගොර්බචොව් එය දේශපාලන ප්‍රශ්නයක් ලෙස ගෙන දේශපාලන ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන්නට පටන් ගත්තේය. එය අවසන් වූයේ යෝධ මහජන නැගිටීමක්, හමුදා කුමන්ත්‍රණයක් හා පූර්ණ විප්ලවයක් සිදු වීමෙනි. වසර 70 ක කොමියුනිස්ට් පාලනය එකදු වෙඩිල්ලක් හෝ පත්තු නොකර අවසන් වූයේ එලෙසිනි. බලය සහා බලය පිටු අංක 168 - පාඨලී චම්පික රණවක

පුටින්, ලෙනින් හා යුක්රේනයේ 3වන ලෝක යුද්ධය.
යුක්රේනයට සෝවියට් සංගමයෙන් වෙන්වීමේ ස්වයං නිර්ණය අයිතිය නැත. එය රුසියාවේ පාන් මල්ලයි’ මෙලෙස කීවේ රුසියානු විප්ලවයේ (1917 ඔක්තෝම්බර්) නායක ලෙනින් ය. එසේ කියමින් ඔහු රතු හමුදාව යවා (1918) යුක්රේනය සෝවියට් සංගමයේ කොටසක් කරගත්තේය. දැන් යළිත් යුක්රේනය සම්බන්ධයෙන් ගැටළුවක් පැන නැගී ඇත. එය නම් රුසියාවේ නායක පුටින් යුක්රේන දේශසීමාවේ හමුදා රැස්කිරීමත් සමඟ තුන්වැනි ලෝක යුද්ධයක් (3.0 WORLD WAR) ඇතිවේද යන බිය මතය. යුක්රේනය ඓතිහාසික රටකි. ඇත්ත වශයෙන්ම මහා රුසියානු ජාතියේ පදනම වූ ‘ස්ලාව්’ (SLAV) වර්ගයේ නිජබිම යුක්රේනයයි. එය ග්‍රීක ඕතඩොක්ස් පල්ලියේද මූල භූමියයි. යුරෝපීය සම්මත අනුව යුක්රේනය දියුණු රටක් නොවේ. එහි ඒක පුද්ගල ආදායම ලංකාවටත් වඩා අඩුය. නමුත් එය සතුව දැවැන්ත ධාන්‍ය වගාකළ හැකි භූමි පවතී. එමෙන්ම රුසියානු ගෑස් යුරෝපයට යන්නේද යුක්රේනය හරහා ය. යුරෝපයේ ගෑස් අවශ්‍යතාවයෙන් 46% ක් සපයන්නේ රුසියාවයි. සාමාන්‍යයෙන් පැරණි සෝවියට් සංගමයේ රටවල් 1989 න් පසු රුසියාව සමඟ ආර්ථික හා ආරක්ෂක සම්මුතියක ඇත. විශේෂයෙන්ම නැගෙනහිර යුරෝපීය හා මධ්‍ය ආසියානු රටවල පාලනයන් රුසියානු අක්ෂයෙන් ගිලිහී යෑම රුසියාව ඉවසන්නේ නැත. මෙවර රුසියාව සිය බටහිර මායිමේ යුක්රේනයට යාබදව මහා හමුදා පෙළගැස්වීමක් කර ඉල්ලා සිටින්නේ ද යුක්රේනයට නේටෝ (NATO) සාමාජිකත්වය ලබාදීම වැළැක්වීම හා නැගෙනහිර යුරෝපයෙන් නේටෝ හමුදා ඉවත් කරගැනීම කළ යුතු බවය. වසර 2014 දී රුසියානු හමුදා ක්රිමියාව අල්ලා ගත්තේත් යුක්රේනයේ නැගෙනහිර ප්‍රාන්ත දෙකක බෙදුම්වාදය ප්‍රාණවත් කළේත් මෙවැනිම ආරක්ෂක භීතියක් ප්‍රකාශ කරමිනි. රුසියාව මූලික වශයෙන් ගොඩබිම් යුධ බලයක් වන අතර එක්සත් ජනපදය යුරෝපය යොදාගන්නේ එහි යුධ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහාය. මෑත කාලයේදී රුසියාව ආකාර කීපයකින් එක්සත් ජනපදයේ යුධ බලය හා එහි ව්‍යාප්තිය ප්‍රශ්න කළේය. 01. නවීන තාක්ෂණික මිසයිල හා මිසයිල ආරක්ෂක පද්ධති, න්‍යෂ්ටික හා න්‍යෂ්ටික නොවන යුධ තාක්ෂණය, විශේෂයෙන් කෘතිම බුද්ධිය (AI) හා සයිබර් ප්‍රහාරක හැකියාව තරඟකාරීව වර්ධනය කරලීම. 02. සිය සෘජු හමුදා මැදිහත්වීම් හෝ පුද්ගලික හමුදා (WAGNER) මගින් සිරියාව, ඉරාකය, ලිබියාව, වෙනිසියුලාව වැනි රටවල එක්සත් ජනපද යුධ සමීකරණය අවුල්කර දැමීම. 03. එක්සත් ජනපදයට එරෙහිව උපායමාර්ගික සබඳතා චීනය, පකිස්තානය, ඉරාකය, ඉන්දියාව, අරාබි ලෝකය හා තුර්කිය සමඟ ගොඩනගා ගැනීම. 04. වසංගත තත්වය සහ සීත සෘතුව නිසා ඉහළ ගිය (400% කින් පමණ) ගෑස් මිළ ගණන් සමඟ ජර්මනිය සමඟත්, චීනය සමඟත්, මධ්‍ය ආසියාව සමඟත්, පකිස්ථානය හා ඉන්දියාව සමඟත් බලශක්තිමය සබඳතා මඟින් එක්සත් ජනපදයේ දේශපාලන සබඳතා අභියෝග කරලීම ආදී ලෙසය. දැන් මේ නිශ්චිත මෙහොතේ රුසියාවට විකල්ප කීපයක් ඉතුරුව ඇත. 01. ක්ෂණික ආක්‍රමණයක් මඟින් යුක්රේනය ඈඳාගෙන තමනට හිතවාදී පාලනයක් එහි පිහිටුවීම. 02. එක්සත් ජනපදය සමඟ එකඟතාවයකට පැමිණ හමුදා දේශසීමාවෙන් ඉවත්කර ගැනීම. 03. යුක්රේනයේ නැගෙනහිර ප්‍රාන්ත ස්වාධීන රාජ්‍යයන් බවට පත්කර ‘කිව්’ හි දේශපාලන අධිකාරිය පෙරලා දැමීමට කටයුතු කිරීම ආදී ලෙසය. මෙහිදී පුටින්ට අවාසිදායක වී ඇත්තේ යුක්රේනයේ නැගී එන ජාතිකවාදයත්, බටහිර යුධ සහාය ලැබීමත්, ජාත්‍යන්තර සම්බාධක වලට මුහුණදීමට රුසියානු ආර්ථිකයට හැකිද යන්නත් පිළිබඳව ය. පුටින්ට වාසිදායක වී ඇත්තේ එක්සත් ජනපදය සෘජු හමුදා මැදිහත්වීමක් නොකිරීමත්, ජර්මනිය, ප්‍රංශය රුසියානු විරෝධයට උද්යෝගීමත් නොවීමත්, එක්සත් ජනපදය තායිවානයේ පැටලී සිටීම නිසා පෙරමුණු දෙකක සටනකට මැලිවීමත්, ශීත කාලය නිසා අධික ගෑස් මිල, ගෑස් හිඟයකට පත්කිරීමට යුරෝපය සූදානම් නොවීමත්, එක්සත් ජනපදය හා එංගලන්තය පෙර නොවූ විරූ ලෙස දේශපාලනිකව බෙදී ගොස් ඇෆ්ඝනිස්ථාන අත්දැකීමෙන් පසු ධෛර්ය බිඳලී තිබීමත්ය. මේ අනුව බොහෝ දුරට සිදුවිය හැක්කේ න්‍යෂ්ටික බලවතුන් අතර තුන්වන ලෝක යුද්ධයක් ඇතිවීමට වඩා සීමාසහිත ගැටුමකට ගොස් දීර්ඝ කාලීන ගැටුමකට මුල පිරීමය. දේශපාලනික අනතුරු බාරගැනීම අතින් බයිඩන්ට වඩා පුටින් ඉදිරියෙන් සිටියද යුක්රේනයේ ජාතිකවාදී රැල්ල ඉදිරියේ සීමිත මෙහෙයුමක් වුවද රුසියාවට දිගුකාලීනව හානිදායක වනු ඇත්තේය. මේ ගැටුම නිසා රුසියාවට හා යුක්රේනයට තේ අපනයනය කරනා ශ්‍රී ලංකාවද, ඒ දෙරටම සමඟ මහා පරිමාණ ව්‍යාපාර කරනා චීනය, ජර්මනිය, ඉන්දියාව වැනි බලවත් රටවල් ද මහත් අපහසුතාවයක් ඇති වී තිබෙනා බව රහසක් නොවේ. තායිවාන හා යුක්රේන යුධ ගැටුම් තර්ජන වලින් පෙනී යන්නේ, ඉරාකයේ, සිරියාවේ හා ඇෆ්ඝනිස්තානයේ එක්සත් ජනපදය ලද යුධ පසුබෑම් ඉදිරියේ නැගී එන ලෝක බලවතුන් වන චීනය, රුසියාව වැනි රටවල් එක්සත් ජනපද යුධ ආධිපත්‍යය අභියෝග කරමින් තිබෙනා බවය.
Deep concerns arise as UNDP report reveals 55.7% of Lankans vulnerable to economic risk.